“පුනරුදයේ පුරවර”
පළාත් පාලන සතිය 2025

2025.09.15  ජංගම සේවා දිනය

2025.09.16  – පරිසර සහ රුක් රෝපණ දිනය

                    (ඕසෝන් ස්ථරය සංරක්ෂණය කිරීමේ ජාත්‍යන්තර දිනය)

2025.09.17  – සෞඛ්‍ය සහ සනීපාරක්ෂක දිනය

                                   (ලෝක රෝගී සුරක්ෂිතතා දිනය)

2025.09.18  – ආදායම් ප්‍රවර්ධන දිනය

2025.09.19  – සාහිත්‍යය,අධ්‍යාපන සහ පුස්තකාල ප්‍රවර්ධන දිනය

2025.09.20  – මහජන උපයෝගිතා  දිනය

                        (ලෝක පිරිසිදු කිරීමේ දිනය )

2025.09.21  – සහතික පත්‍ර ප්‍රදානය සහ සමාප්තිය.

Activities related to LG Week 2025

2025 සැප්තැම්බර් මස 15 දින සිට සැප්තැම්බර් මස 21 දින දක්වා

පළාත් පාලන සතිය ක්‍රියාත්මක කරමින් ප්‍රජාවගේ දෛනික අවශ්‍යතා සපිරෙන ජීවත්වන වටපිටාව සුරක්ෂිත කෙරෙන පරිසරයක් නිර්මාණය කරමින් අනාගත දැක්ම සුරක්ෂිත කෙරෙන පුනරුදයේ පුරවරයක් බිහිකිරීම උදෙසා  රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මඟින් මෙහෙයවනු ලබන අඛණ්ඩ වැඩසටහන් සඳහා අත්වැල් බැඳගන්නා ලෙස සියලුම පළාත් පාලන ආයතන වෙත කෙරෙන ආරාධනයයි.

2025.09.15 පළමු දිනය - ජංගම සේවා දිනය

පළාත් පාලන ආයතන සපයන මහජන සේවා හැකිතාක් මහජනතාව වෙත සමීප කරවීමටත් එම සේවා පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම  උදෙසා ජංගම සේවා දිනය පැවැත්විය යුතුවේ. 

කොට්ඨාසයේ රාජ්‍ය ආයතන සමඟ සම්බන්ධීකරණය කරමින් හිඟ ආදායම් රැස්කිරීමේ ජංගම සේවා බල ප්‍රදේශයේ විවිධ ස්ථානවල ක්‍රියාත්මක කිරීම. මහජන පැමිණිලි අදහස් ලබා ගැනීමේ යාන්ත්‍රණයක් සකස් කර  බල ප්‍රදේශය තුළ ක්‍රියාත්මක කිරීම.

මහජනතාවට පහසුවෙන් ළඟාවිය හැකි ස්ථාන කීපයක ළමුන් සහ වැඩිහිටියන් සඳහා සෞඛ්‍ය සායන, මාතෘ සායන,අක්ෂි සායන, උපදේශන වැඩසටහන් පැවැත්වීම.

පළාත් පාලන ආයතන මහජනතාව වෙත ලබාදෙන සේවා මෙන්ම අනෙකුත් රාජ්‍ය ආයතන හා සම්බන්ධීකරණය වෙමින් ක්‍රියාත්මක කළ හැකි මහජන සේවා, ජංගම සේවා මඟින් ලබා දීමට අවශ්‍ය පියවර ගැනීම.

පළාත් පාලන බල ප්‍රදේශය තුළ අත්‍යවශයෙන්ම සිදු කළ යුතු සංවර්ධන වැඩසටහන් පිළිබඳව මහජන අදහස් ලබා ගැනීමත්, පළාත් පාලනය යන විෂයය හැකිතාක් මහජනතාව වෙත සමීප කරවා ගැනීමට අවශ්‍ය පුළුල් ප්‍රචාරයක් ලබා දී මහජනතාව දැනුවත් කිරීම.  

පළාත් පාලන ආයතනය මහජනතාවට සේවා සපයන ආයතනයක් ලෙස සිදු කරනු ලබන ජනතා සේවය තුළ මහජන ඉල්ලීම් මත සිදුකළ යුතු වෙනස්කම් හඳුනා ගැනීමේ යාන්ත්‍රණයක් ලෙස මෙම දිනය පවත්වා ගැනීම.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය,සමාජ සේවා දෙපාර්තමේන්තුව, ස්වේච්ඡා සංවිධාන කල්වේලා ඇතිව දැනුවත් කර අවශ්‍යතා සම්පුර්ණ කර ගැනීමට කටයුතු  කිරීම.

 
2025.09.16 දෙවැනි දිනය - පරිසර සහ රුක් රෝපණ දිනය ( ඕසෝන් ස්ථරය සංරක්ෂණය කිරීමේ ජාත්‍යන්තර දිනය)

පරිසරය සුරැකීම සහ රුක් රෝපණයේ ඇති වැදගත්කම පිළිබඳව සම්මන්ත්‍රණ, වැඩමුළු, ශ්‍රමදාන, ප්‍රදර්ශන, සංවාද සහ පා ගමන් සංවිධානය කරමින් මහජනතාව දැනුවත් කිරිම.

 ඝන අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහන් යටතේ පරිසර දූෂණය සහ  කසළ ජනනය අවම කිරිම පිණිස  පළාත් පාලන ආයතනවල භාණ්ඩ හුවමාරු පොළක් හෝ  කසළ පොළක් සංවිධානය කරමින්  පරිසරයට කසළ බැහැරවීම අවම කිරීමත් අමතර ආදායමක් උත්පාදනය කර ගැනීමට කටයුතු කිරීම.

 රුක් රෝපණ වැඩසටහන් ක්‍රියාත්මක කිරිමත් රෝපණය කරන ලද වෘක්ෂ රැක බලා ගැනීම හා ඒවාට සාත්තු කිරිම සඳහා නියමිත පරිදි වගකීම් පවරා  අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම.

 නාගරික ප්‍රදේශවල හරිත වන තීරු, පරිසර මාවත් සහ ගංඟා ඇළ දොළ, වැව් ඉවුරු සහ සංරක්ෂිත භූමි, හඳුනාගෙන ඒවා සංරක්ෂණය කිරීමට රුක් රෝපණය යොදා ගැනීම සහ විශේෂයෙන් වෙරළ සංරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

පොලිතීන්, ප්ලාස්ටික් අපද්‍රව්‍ය ජනනයවීම අවම කිරිමේ දැනුවත් කිරිම් සහ  ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අපද්‍රව්‍ය රැස් කර එමඟින් අමතර ආදායම් උත්පාදනය කර ගැනිමේ ක්‍රියාමාර්ග ගැනීම.

ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය පිළිබඳව මහජනතාව දැනුවත් කර ඒවා පරිසරයට බැහැර කිරීම අවම කිරීම සඳහා අපහරණය කිරිම පිණිස  රැස් කර තබා ගැනීම සහ ඒවා විධිමත්ව බැහැර කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම.(මධ්‍යම පරිසර අධිකාරිය දැනුවත් කරමින්)

3R ක්‍රමය (Reduce, Reuse, Recycle) භාවිතා කරමින් කසළ වෙන් කර ලබා ගැනීම සඳහා ප්‍රජාව දැනුවත් කරමින් කසළ අපහරණ කටයුතු විධිමත් කිරිම.

 ගෘහස්ථ කසළ කළමනාකරණ විධික්‍රම ජනතාව අතරට රැගෙන යමින් ගෘහස්ථ කොම්පෝස්ට් බදුන් භාවිතය ප්‍රචලිත කර එම නිෂ්පාදිත කොම්පෝස්ට් පොහොර භාවිතයෙන් කුඩා ගෙවතු නිර්මාණය කිරීම සඳහා මහජනයා පෙළඹවීම හා දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

 
 
2025.09.17 තෙවන දිනය - සෞඛ්‍ය සහ සනීපාරක්ෂක දිනය (ලෝක රෝගී සුරක්ෂිතතා දිනය)

ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, පොලීසිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන මෙන්ම පෞද්ගලික ආයතනවල සහය ලබා ගනිමින් සිදු කළ යුතු වැඩසටහන් පූර්වයෙන් හඳුනා ගෙන නියමිත පරිදි පෙළ ගැස්වීම.

 මහජන සහභාගිත්වයෙන් පොදු ස්ථාන පිරිසිදු කිරීම, අලුත්වැඩියා කිරීම, ප්‍රධාන මෙන්ම අතුරු මාර්ග දෙපස ගස් අතු කපා ඉවත් කර මාර්ග පිරිසිදු කිරීම සඳහා ශ්‍රමදාන පැවැත්වීම. 

 රාජ්‍ය ආයතන, පාසැල්, රෝහල් ආදී ස්ථානවල රාජ්‍ය නොවන සහ ස්වෙච්ඡා සංවිධාන සහභාගී කරවා ගනිමින් පිරිසිදු කිරීම, අලුත්වැඩියා කටයුතු සිදුකර ප්‍රියජනක ස්ථාන බවට තහවුරු කිරීමට අවශ්‍ය කටයුතු ශ්‍රමදාන ආශ්‍රයෙන් සිදු කිරීම.

 මහජනතාව පූර්වයෙන් දැනුවත් කර සුනඛයින් සඳහා ජලභීතිකා එන්නත්කරණ ලබා දීමට සෞඛ්‍ය සහ පශු වෛද්‍ය අංශ සහය ලබා ගෙන සායන පැවැත්වීම.

රාජ්‍ය ආයතනවල ආපනශාලා, ජල ටැංකි ආදිය සහ  අප ජලය බැස යන කාණු ආදිය පිරිසිදු කර කසළ අපහරණ කටයුතු විධිමත් කර මහජන සෞඛ්‍යය සහතික කිරීමට අවශ්‍ය පියවර ගැනීම. 

 ඩෙංගු, චිකුන් ගුන්යා යන රෝග ව්‍යාප්තිය බහුල ප්‍රදේශ සඳහා දැඩි අවධානයක් යොමු කර මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම.

      උදාහරණ :-

              ධුමායනය, පිරිසිදු කිරීම, ජලය එක්රැස්වන ස්ථාන විනාශ කිරීම, 

              ජලය බැස යන පරිදි කාණු පද්ධති පිළිසකර කිරීම.  

 ආයුර්වේද බෙහෙත් ශාලා මූලික කරගනිමින්  මහජනතාව දැනුවත් කරමින් වැඩිහිටියන් සඳහා විශේෂ ආයුර්වේද වෛද්‍ය සායන පැවැත්වීම.

 සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ  රෝහල් සමඟ සම්බන්ධීකරණය වෙමින් ප්‍රජාව සඳහා සෞඛ්‍ය සායන පැවැත්වීම.

 
2025.09.18 - සිවුවන දිනය - ආදායම් ප්‍රවර්ධන දිනය

මහජනතාව වෙත අත් පත්‍රිකා, ශබ්ද විකාශන යන්ත්‍ර, සමාජ මාධ්‍යජාලා (Face book, whatsapp) යන  උපාය මාර්ග භාවිතා කර ගනිමින් ආදායම් ප්‍රවර්ධන කටයුතු පිළිබඳව පුළුල් ප්‍රචාරයක් ලබාදී නියමිත පරිදි වරිපනම්,කඩකුලී ආදී පළාත් පාලන ආයතනයට විය යුතු අයවීම් නියමිත පරිදි සිදු කිරීමට මහජනතාව පෙළඹවීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

 පළමු දිනයේ පැවැත්වූ ජංගම සේවා මඟින් ගෙවීම් කිරීමට නොහැකි  වූ පළාත් පාලන ආයතනවල ආදායම් රැස්කර ගැනීම සඳහා නැවත අවස්ථාව ලබා දෙමින් ආදායම් රැස් කිරීම ප්‍රවර්ධනය කිරීම, හා ඊට අදාල දැනුවත් කිරීම් සිදු කිරීම. 

 වරිපනම්, කඩකුලී ආදිය අය කිරීම්, ගෙවීම් කිරීම පහසු වන පරිදි පළාත් පාලන ආයතන බල ප්‍රදේශයේ ස්ථාන කිහිපයක අවශ්‍ය පහසුකම් සලසා දී අදාල කාර්ය මණ්ඩලය යෙදවීම. 

පළාත් පාලන ආයතනයෙන් අය කිරීම් කරනු ලබන සේවා පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, හා එම සේවා ලබා ගත හැකි ආකාරය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම. 
 
ගෙවීම් කිරීම පහසුවන පරිදි සරල ක්‍රම හඳුන්වා දීම මගින් මහජනතාවට පහසුවෙන් ගෙවීම් කිරීමේ අවස්ථා ඇති කිරීම.  (සරල ආකෘති පත්‍ර හඳුන්වා දීම, අනවශ්‍ය පියවර ඉවත් කිරීම, සහන ක්‍රම හඳුන්වා දීම, දැන්වීම් පුවරුවල ක්‍රියා කරන අනුපිළිවෙල ප්‍රදර්ශණය කිරීම.)
2025.09.19 - පස්වන දිනය - සාහිත්‍යය, අධ්‍යාපන සහ පුස්තකාල දින

පුස්තකාල පාඨක සමාජ ශක්තිමත් කිරීම සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන්, පාඨක සමාජ අතර තරඟ ආදිය සංවිධානය කරමින් පුස්තකාල මහජනතාව අතර ප්‍රචලිත කිරීමේ දිනයක් ලෙස  සංවිධානය කිරීම.

 පුස්තකාල සේවා මණ්ඩලය හා සම්බන්ධ වෙමින් තරඟ සංවිධානය කරමින්, උද්යෝගිමත් පාඨකයින් මහජන පුස්තකාල වෙත ආකර්ෂණය කර ගැනීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම. 

 සැප්තැම්බර් මාසයට යෙදී ඇති සාහිත්‍යය මාසය ඉලක්ක කරගත් සුවිශේෂී වැඩසටහන්, විශේෂයෙන්ම ප්‍රාදේශීය මට්ටමේ පොත් ප්‍රදර්ශන, ගද්‍ය පද්‍ය නිර්මාණ රචකයින් ඇගයීම,නිර්මාණකරුවන් නිර්මාණ සඳහා උනන්දු කරවීම ආදී වැඩසටහන් සංවිධානය කිරීම.

ජංගම පුස්තකාල සේවාව ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතා සොයා බලා ජංගම පුස්තකාල සේවා ක්‍රියාත්මක කරමින් බල ප්‍රදේශයේ ජනතාව කියවීම සඳහා උනන්දු කරවීම. 
 
පුස්තකාලවල පවතින පොත්පත් සඟරා විධිමත්ව සංරක්‍ෂණය කරමින් ක්‍රමානුකූලව ගබඩා කිරීමේ කටයුතු සඳහා ප්‍රමුඛත්වය ලබා දී පුස්තකාල ප්‍රියමනාප කියවීම් පරිසර බවට පත් කිරීම. 
 
පෙර පාසල් දරුවන් සඳහා විශේෂ වැඩසටහන් මෙන්ම එම දෙමාපියන් ද  සහභාගී කර ගනිමින් ළමා පරපුර කියවීමට හුරු කිරීම සඳහා නිර්මාණාත්මක වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
 
පුස්තකාල පාඨක සමාජවලට අන්තර්ජාලය හා  සම්බන්ධ විය හැකි නිර්මාණාත්මක ක්‍රියාකාරකම් හඳුන්වා දී ඒවා ප්‍රචලිත කිරීම, හා හැකි තරම් පුස්තකාල තුළින් අන්තර්ජාල භාවිතයෙන් දැනුම ලබා ගතහැකි අවස්ථා තරුණ පරපුර වෙත ලබා දීම.
2025.09.20 හයවන දිනය - මහජන උපයෝගිතා සහ ක්‍රීඩා දිනය (ලෝක පිරිසිදු කිරීමේ දිනය)

වෙළඳපළ, සතිපොළ, පානීය ජල පහසුකම්, වීථි පහන්, ක්‍රිඩා පිටි, සුසාන භූමි, ආදාහනාගාර, ඔරලෝසු කණු වැනි මහජන උපයෝගීතා සේවා පවත්වාගෙන යාම පිණිස ස්ථාපිත ස්ථාන අළුත්වැඩියා කිරීම, සහ එම ස්ථාන යථාවත්ව අලංකාර ලෙස පවත්වා ගෙන යාමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම.

 මාර්ග අලංකරණය, අළුත්වැඩියාව සහ නිසි නඩත්තු කටයුතු සිදු  කිරීම සඳහා පෞද්ගලික ආයතන සහය ලබා ගැනීම, වීථි ලාම්පු නඩත්තුව සඳහා නිශ්චිත පුද්ගලයින් හඳුනාගෙන වගකීම් පවරමින් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම. 

 සිවිල් සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන මගින් ක්‍රියාකාරී වැඩසටහන් සකස් කරවා පළාත් පාලන ආයතන ප්‍රධානත්වයෙන් එම වැඩසටහන් ක්‍රියාත්මක කිරීම. 

 ලියාපදිංචි සිවිල් සංවිධාන, සිවිල් ක්‍රියාකාරීන්, ලියාපදිංචි සමිති, සමාගම්, ක්‍රියාකාරී කමිටු රැස් කර පළාත් පාලන ආයතන බල ප්‍රදේශයේ උන්නතිය වෙනුවෙන් අවශ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

මහජන සහභාගිත්වය උපරිම ලබා ගනිමින් පළාත් පාලන ආයතනය විසින් බල ප්‍රදේශය තුළ ක්‍රියාත්මක කළ යුතු අත්‍යවශ්‍ය සංවර්ධන කටයුතු පිළිබඳව මහජන අදහස් යෝජනා ලබා ගැනීම. (මෙම අදහස් හා යෝජනා වාර්ෂික අයවැය ලේඛනයට ඇතුළත් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කළ හැකිය.)
 
ක්‍රීඩා පිටි, නාගරික උද්‍යාන, ළමා උද්‍යාන ආදිය පිරිසිදු කිරීමේ  කටයුතු සහ වැට මායිම් ආදිය සකස් කර මහජනතාව වෙත සේවා සපයන ප්‍රියජනක ස්ථාන බවට පත් කිරීම.  
 
පළාත් පාලන ආයතන සතු සුසාන භූමි, ඉඩම් දේපළවල සීමා මායිම්  හඳුනා ගෙන ඒවා ආරක්ෂා කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කිරීම.
 
            උදාහරණ :-  සීමා ලකුණු කර වැට මායිම් සකස් කිරීම.
                            කැළෑ එළිකර පිරිසිදු කිරීම.
 
2025.09.21 හත්වන දිනය - සහතික පත්‍ර ප්‍රදානය සහ සමාප්තිය

පළාත් පාලන සතියේ අවසාන දිනය ක්‍රිඩා කටයුතුවල නිරත වෙමින් පළාත් පාලන බල ප්‍රදේශයේ ක්‍රීඩා සංගම්,සමිති මෙන්ම පළාත් පාලන ආයතනයේ  අංශ අතර, ආයතන අතර ක්‍රීඩා  තරඟ සංවිධානය කරමින් සහයෝගිත්වය සහ සංහිදියාව ඇති කිරීම.

ක්‍රීඩා ප්‍රදර්ශන පැවැත්වීම, ක්‍රීඩා කුසලතා වර්ධනය කිරීම, ජන ක්‍රීඩා ප්‍රචලිත කිරීම ආදිය සඳහා අවධානය යොමු කරමින් ඒවා ප්‍රචලිත වන ආකාරයේ වැඩසටහන් සහ තරඟ අවස්ථා සංවිධානය කර පැවැත්වීම. 

ක්‍රිඩා වැඩසටහන් සංවිධානය කිරීමේදී ප්‍රදේශයේ සිවිල් ජනතාවගේ මෙන්ම පෞද්ගලික ආයතනවලද සහය ලබා ගැනීමත් විශේෂයෙන් ශාරීරික සුවතා වැඩසටහන් සඳහා ප්‍රජාව උනන්දු කරවීමටත් කටයුතු කිරීම.

පැවති සියලුම තරඟ අවස්ථා සඳහා සහතික පත්‍ර හෝ ත්‍යාග පිරිනැමීම සහ එම වැඩසටහන් වෙනුවෙන් සහභාගී වූ සියලු දෙනාට ස්තුතිය පිරිනමමින් ඉදිරි වැඩසටහන් සඳහා ඔවුනගේ සේවය ලබා ගැනීමට අවශ්‍ය දිරි ගැන්වීම සිදු කිරීම.
 
සමාප්ති දිනය වෙනුවෙන් පවත්වන වැඩසටහන් සඳහා සියලු දෙනා සහභාගී කරවා ගනිමින් කෙටි චිත්‍රපට, වීඩියෝ ක්ලිප් ආදිය ප්‍රදර්ශනය කරමින් වැඩසටහනේ සමාප්තිය සනිටුහන් කිරීම.
Send us an email

Any questions you can email us

info[at]pclg.gov.lk

Give us a call

+94 11 2305326-327,

+94 11 2695279

Visit our office

No. 330, Dr. Colvin R. de Silva Mawatha (Union Place), Colombo - 02, Sri Lanka.